අපගේ දැක්ම

තිරසර සංවර්ධනය තුළින් විශිෂ්ඨත්වය කරා...

 

අපගේ මෙහෙවර

යහපත් විනයකින් හා සංවරයකින් යුතු ව සංවිධාන ශක්තිය පූර්ණය කරමින් හා අවශ්‍ය මානව, භෞතික සම්පත් කළමනාකරණය කරමින් ප්‍රදේශයේ මහජනතාවගේ අවංක මාර්ගෝපදේශකයා හා සේවකයා බවට පත් වීම.

 

තමන්කඩුව ප්‍රාදේශිය මහලේකම් කොට්ඨාසය

අසිරිමත් ශ්‍රී ලංකාවේ රජරට පුරවරයේ සුන්දර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 න් එකක් වශයෙන් ඓතිහාසික පසුබිමක් හා ප්‍රෞඪත්වයක් පෙරදැරි කර ගනිමින් තමන්කඩුව ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාසය, උතුරෙන් ලංකාපුර හා හිඟුරක්ගොඩ යන ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාසවලට ද, නැගෙහිරෙන් දිඹුලාගල හා වැලිකන්ද යන ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාසවලට ද, දකුණින් සුන්දර මහවැලි ගං කොමළියගෙන් ඔබ්බට මාතලේ දිස්ත්‍රික්කයට ද, බටහිරෙන් ඇළහැර හා හිඟුරක්ගොඩ යන ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාසවලට ද මායිම් ව පිහිටා ඇත.

ප්‍රධාන වශයෙන් ලෝක ප්‍රකට පොළොන්නරුව වටදාගෙය, ගල්විහාරය හා පැරකුම් ප්‍රතිමාව ප්‍රමුඛ ඓතිහාසික සිද්ධස්ථාන වලින් ද, මුළු මහත් ශ්‍රී ලංකාවම ස්වයංපෝෂිත කරමින් දීර්ඝතම ගමනක යෙදෙන සුන්දර මහවැලි ගං කොමළියට හා සුවිසල් පැරකුම් සමුදුරට ද උරුමකම් කියන තමන්කඩුව අධ්‍යාපනික, ආර්ථික, සංස්කෘතික හා යටිතල පහසුකම් යන සියල්ලෙන් ම පරිපූර්ණ වෙමින් වේගවත් සංවර්ධනයක් කරා ගමන් කරමින් සිටී.

දිස්ත්‍රික්කයේ ප්‍රධානතම පරිපාලන නගරය පිහිටි තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය(කච්චේරිය), අධිකරණ සංකීර්ණය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය, රාජකීය මධ්‍ය මහා විද්‍යාලය, ඉදි වෙමින් පවතින ත්‍රෛ භාෂා පාසල, පොළොන්නරුව මහ රෝහල, ඉදි වෙමින් පවතින දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල, ගල්ලෑල්ල ජාතික ක්‍රීඩාංගනය, දිස්ක්‍රික් කෘෂිකර්ම කාර්යාල ඇතුළු රාජ්‍ය පරිපාලනයේ සියළු ප්‍රධාන දිස්ත්‍රික් කාර්යාල පිහිටා ඇති අතර, වර්ග කිලෝ මීටර් 466.3ක භූමි ප්‍රමාණයකින් යුතු තමන්කඩුව ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාසය තුල 87,465 ක ජනතාවක් වාසය කරයි.

පොළොන්නරුව ඉතිහාසයේ ප්‍රථම වතාවට 2018 වර්ෂයේ දී තමන්කඩුව ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාසය තුල මහ නගර සභාවක් ස්ථාපිත කෙරුණු අතර, එයින් පසු එතෙක් පැවති තමන්කඩුව ප්‍රාදේශීය සභාව පොළොන්නරුව මහා නගර සභාව හා පොළොන්නරුව ප්‍රාදේශීය සභාව ලෙස ආයතන දෙකකට බෙදා පොළොන්නරුව සංවර්ධන ගමනේ නවමු පියවරකට එළැඹී සිටී.
 
 

තමන්කඩුව ඉතිහාසය

අනුරාධපුර රාජ පාලනයෙන් පසුකාලීනව ක්‍රි:ව: 1055 න් ඇරැඹි පොළොන්නරුව රාජධානි සමය ඉතා සශ්‍රීක හා ස්වයංපෝෂිත, ආර්ථිකයෙන් ආඪ්‍ය වූ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. විජයබා රජ, මහා පරාක්‍රමබාහු රජ, නිශ්ශංකමල්ල රජ මෙන් ම ලීලාවතී හා කළ්‍යාණවතී යන රැජිණියන් ද රාජ්‍ය පාලනය කර ඇති අතර, පසු කාලීනව ඇති වූ දුර්වල රාජ්‍ය පාලනයන් අවස්ථාව කර ගනිමින් ක්‍රි:ව:1214 දී ඉංදියාවේ සිට පැමිණි කාලිංග මාඝ පොළොන්නරුවේ සිට පාලනය කරමින් එතෙක් සිරිලක හදවත බඳු ව තිබූ රජරට මූලික ව සිරිලක තිබූ වෙහෙර විහාර හා ගොඩනැගිලි සියල්ල විනාශ කොට ඇත. ඉතා අධර්මිශ්ඨ හා කුරිරු පාලකයෙකු මෙන් කටයුතු කල ඔහු ස්වර්ණමය පොළොන්නරු රජධානියේ පරිහානිය සනිටුහන් කළේ ය. එයින් පසු ක්‍රම ක්‍රමයෙන් රට තුල රාජධානි දකුණු දෙසට සංක්‍රමණය විය.

සිරිලක අවසන් රාජධානිය වන මහනුවර රාජ සමයේ තමන්කඩුව දිසාව ඉතා සුප්‍රකට පරිපාලන බල ප්‍රදේශයක් වන අතර, ක්‍රි:ව:1815 වර්ෂයේ දී ඉංග්‍රීසි පාලනයට යටත් වූ පසුව ද තමන්කඩුව දිසාව පරිපාලන ඒකකයක් වශයෙන් පැවතුණි. 1953 දී සිදු කරන ලද පරිපාලන බලප්‍රදේශ ප්‍රතිසංස්කරණයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කය ස්ථාපිත කෙරිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමන්කඩුව හා සිංහල පත්තුව යනුවෙන් ප්‍රාදේශීය ආදායම් නිලධාරි කොට්ඨාස දෙකක් ස්ථාපිත වූ අතර, 1983 වර්ෂයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පරිපාලන කොට්ඨාස තමන්කඩුව, හිඟුරක්ගොඩ, ලංකාපුර, මැදිරිගිරිය සහ ඇලහැර යනුවෙන් තවදුරටත් බෙදා වෙන් කරන ලදි.

ඉන් අනතුරුව 1988 දී තමන්කඩුව සහකාර ආණ්ඩුවේ ඒජන්ත යන පරිපාලන ඒකකය තව දුරටත් තමන්කඩුව හා දිඹුලාගල ලෙස දෙකට බෙදී ගියේ ය. තව ද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ එතෙක් පැවති සහකාර ආණ්ඩුවේ ඒජන්ත යන පරිපාලන ඒකකය ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාස යනුවෙන් සංශෝධනය කෙරිණි. එදා මෙදා තුර තමන්කඩුව ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 55 ක් වශයෙන් ග්‍රාමීය පරිපාලනයට ද බෙදා වෙන් කර ගනිමින් දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ සංධිස්ථානයක් ගෙන කටයුතු කරමින් පවතී.

 
                               
 
 
 
තමන්කඩුව පරිපාලන බල ප්‍රදේශයේ එදා මෙදා තුර සේවය කළ හා සේවය කරන
රටේ මහත්තයා/ ප්‍රාදේශීය ආදායම් නිලධාරි/ සහකාර ආණ්ඩුවේ ඒජන්ත හා
ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ නාම ලේඛනය
 

 

News & Events

Scroll To Top